ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) වෙනුවෙන් සංවිධානය කර ඇති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පස්වරු 4:00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මෙම සාම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ විය.
හෙට පැවැත්වෙන මෙම විශේෂ රාජ්‍ය උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ වෙත උතුම් ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් පූජා කිරීමට ද නියමිතව ඇත. සාමය සහ සහජීවනය තේමා කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














