2026 අප්‍රේල් මාසයේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙයි. අප්‍රේල් මාසයේ මුල් දින 22 තුළ පමණක් සංචාරකයින් 99,777ක් දිවයිනට පැමිණ ඇති අතර ඉන් වැඩිම පිරිසක්, එනම් 29%ක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින යුද අර්බුදය ගෝලීය සංචාරක කර්මාන්තයට එල්ල කර ඇති බලපෑම හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ දෛනික සාමාන්‍යය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ජනවාරි මාසයේදී 8,946ක් ලෙස පැවති දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍යය අප්‍රේල් මාසය වන විට 4,535 දක්වා 50%කින් පමණ පහළ බැස ඇත.
විශේෂයෙන්ම අප්‍රේල් 13 වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 3,408ක් පමණක් වන අතර, එය 2026 වසරේ මේ දක්වා තනි දිනක් තුළ වාර්තා වූ අඩුම සංචාරක පැමිණීම ලෙස සටහන් වේ. වසරේ මුල් කාර්තුව තුළ පැවති ඉහළ වර්ධනය අප්‍රේල් මාසය වන විට මෙලෙස මන්දගාමී වී ඇත්තේ පවතින ජාත්‍යන්තර දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














