පෙබරවාරි මැද භාගයේ සිට ක්‍රියාත්මක වන ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) අර්ධ බිඳවැටීම හමුවේ, එරට ගුවන් තොටුපළ ආරක්ෂක කටයුතු භාරව සිටින ප්‍රවාහන ආරක්ෂක පරිපාලනයේ (TSA) නිලධාරීන් 1,000 කට අධික පිරිසක් සේවය අතහැර ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (27) දින නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව මාර්තු අවසාන සතියේදී 460 ක්ව පැවති මෙම ඉල්ලා අස්වීම් සංඛ්‍යාව පසුගිය සතිය වන විට 780 ඉක්මවා ගොස් තිබේ.
මෙම රජයේ බිඳවැටීම හේතුවෙන් 50,000 ක් පමණ වන TSA සේවකයින්ට සති හයක පමණ කාලයක් වැටුප් රහිතව සේවය කිරීමට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන ගුවන් තොටුපළවල ආරක්ෂක පරීක්ෂාවන් සඳහා පැය හතරකට වඩා වැඩි කාලයක් පෝලිම්වල රැඳී සිටීමට මගීන්ට සිදුව ඇත. මෙම මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආගමන විගමන නීති සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය සහ ජනාධිපති ට්‍රම්ප් අතර පවතින ගැටුමයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතකදී TSA මෙහෙයුම් පුද්ගලීකරණය කිරීමටත්, සේවකයින් 10,000 ක් පමණ කපා හැරීමටත් යෝජනා කර තිබේ. රජයේ මෙම ක්‍රියාකලාපය හමුවේ සේවකයින් දැඩි පීඩනයකට පත්ව සිටින අතර, අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙන්නේ මෙම මර්දනකාරී පරිසරය විශේෂයෙන්ම සුළුතර ජන කොටස්වලට අයත් සේවකයින්ට අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පවසන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවයි.














