චීනයේ පැවති 6 වන ආසියා වෙරළ ක්‍රීඩා උළෙලේදී (Asian Beach Games) මලල ක්‍රීඩා අංශයෙන් පදක්කම් 4ක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (28) යළි දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.
කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් ඉෂාරා සමන්මලී, ආසියා වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම රිදී පදක්කම දිනාගත් ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්විය.
දුර පැනීමේ ඉසව්වලින් ශෂිකලා ලංකාතිලක සහ සම්පත් මිරැන්ඩා ලෝකඩ පදක්කම් දිනාගත් අතර පිරිමි සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ මනුෂ ප්‍රභාෂ්, මලිත් කමිල්, මලිත් තරුෂාන් සහ සඳුන් දියලවත්ත යන කණ්ඩායම ද ලෝකඩ පදක්කමක් මෙරටට හිමිකර දුන්හ.
කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














