අමෙරිකානු රජය විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිර කිරීම් (Blockade) තවදුරටත් දීර්ඝ කිරීමට සූදානම් වන බවට වාර්තා වීමත් සමඟ, මැදපෙරදිග කලාපයේ සැපයුම් ජාලයට එල්ල වී ඇති බාධා තවදුරටත් දික්ගැස්සෙනු ඇතැයි යන බිය හමුවේ අද (29) තෙල් මිල ඉහළ ගොස් තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත වාර්තා කරන පරිදි, ඉරාන ආර්ථිකයට සහ තෙල් අපනයනයට එල්ල කරන පීඩනය දැඩි කිරීම සඳහා එරට වරායන් වෙත සිදුකරන නැව් ගමනාගමනය වැළැක්වීමේ මෙහෙයුම් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී ඇත.
මෙම තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල අඛණ්ඩව අටවන දිනටත් ඉහළ ගිය අතර, එය බැරලයක මිල ඩොලර් 111.78ක් දක්වා වර්ධනය විය. අමෙරිකානු WTI (West Texas Intermediate) බොරතෙල් මිල ද පසුගිය දින අටෙන් හතකදීම ඉහළ යමින් බැරලයක මිල ඩොලර් 100.50ක් ලෙස වාර්තා විය. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් දැනටමත් සැපයුම් සීමා වී ඇති පසුබිමක, මෙම නව අවහිර කිරීම් හරහා තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට අමතරව අමෙරිකානු බොරතෙල් සහ පෙට්‍රල් සංචිත ද අඛණ්ඩව දෙවන සතියටත් පහත වැටී ඇති බව වාර්තා වේ.















