පාරිභෝගිකයා සූරාකමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට උත්සාහ කරන වෙළඳ මාෆියාව මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් කොළඹ 11, පස්වන හරස්වීදිය ප්‍රදේශයේදී පෙරේදා ක්‍රියාත්මක විය. සහල් මිල පාලනය කරමින් රජය විසින් පනවා ඇති නීතිමය රාමුව අමුඅමුවේ උල්ලංඝනය කරමින්, සාමාන්‍ය ජනතාවගේ බඩගින්න මතින් යැපෙන වෙළඳුන් කොටු කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත් වී තිබේ. දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන පාරිභෝගිකයන් මුළා කරමින් සිදුකළ මෙම මහා පරිමාණ ජාවාරම හෙළිදරව් වීමත් සමඟ ප්‍රදේශයේ අනෙකුත් ජාවාරම්කාර වෙළඳුන් ද දැඩි භීතියට පත්ව සිටින බව වාර්තා වේ.
මෙහිදී අනාවරණය වූයේ රජය විසින් රුපියල් 240ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 285ක මිලකට, එනම් නියමිත මිලට වඩා රුපියල් 45ක් වැඩියෙන් අලෙවි කර ඇති බවයි. සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක මල්ලක් රුපියල් 1425ක මුදලකට අලෙවි කරමින් සිටියදී අදාළ වෙළෙන්දා රතු අතටම කොටු කර ගැනීමට නිලධාරීන් සමත් විය. ඊයේ (28) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හෙළි වූ තවත් කම්පනීය තොරතුරක් වන්නේ, අදාළ වෙළෙන්දා මීට පෙර ද මෙවැනිම වංචා දෙවරක් සිදු කර නීතියට හසු වූ අයෙකු බවයි.
තෙවැනි වරටත් වරද පිළිගත් මෙම වංචාකාරී වෙළෙන්දාට රුපියල් ලක්ෂ 2ක (200,000) දැවැන්ත දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලදී. පාරිභෝගික අයිතීන් පාගා දමමින් අධික ලාභ ලබන්නට උත්සාහ කරන ඕනෑම අයෙකුට මෙවැනි දරුණු නීතිමය පියවරයන්ට මුහුණ දීමට සිදුවන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි. මෙය හුදෙක් එක් වෙළෙන්දෙකුට දුන් දඬුවමක් පමණක් නොව, සහල් මිල මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කර පාරිභෝගිකයා පීඩාවට පත් කරන සියලුම වෙළඳුන්ට එල්ල කළ බරපතල අනතුරු ඇඟවීමකි.














