ඉන්දියාවේ මුම්බායි හි පයිදෝනි ප්‍රදේශයේ ජීවත් වූ දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු අවාසනාවන්ත ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. අබ්දුල්ලා දොකාඩියා, ඔහුගේ බිරිඳ නස්රීන් සහ දියණියන් දෙදෙනා වූ අයේෂා හා සයිනබ් මෙලෙස ජීවිතක්ෂයට පත් වූහ.
පසුගිය අප්‍රේල් 25 වන දා සෙනසුරාදා රාත්‍රියේ මෙම පවුලේ පිරිස සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් එක්ව බුරියානි සහ චිකන් පිලාෆ් ආහාරයට ගෙන ඇත. එම අවස්ථාවේදී කිසිදු අයෙකුට අපහසුතාවයක් දැනී නොමැති අතර, පසුව ඥාතීන් පිටව ගොස් තිබේ.
රාත්‍රී ආහාරයෙන් පසු අලුයම 1.00ට පමණ පවුලේ සිව්දෙනා පමණක් අතුරුපසක් ලෙස පැණි කොමඩු ආහාරයට ගෙන ඇත. ඉන් පැය කිහිපයකට පසු, එනම් අලුයම 5.00ට පමණ ඔවුන්ට දැඩි වමනය, පාචනය සහ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ මතු වී තිබේ.
රෝහල්ගත කිරීමෙන් පසු ඉරිදා දිනය තුළ පවුලේ සිව්දෙනාම මියගොස් ඇත. සාමාන්‍ය ආහාර විෂ වීමකින් මෙතරම් වේගවත් මරණයක් සිදු විය නොහැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඔවුන් සැක කරන්නේ පවුලේ පිරිස පමණක් අලුයම ආහාරයට ගත් පැණි කොමඩු ගෙඩිය තුළ යම් රසායනික ද්‍රව්‍යයක්, කෘමිනාශකයක් හෝ අධික විෂක් අඩංගු වී තිබෙන්නට ඇති බවයි.
පොලිසිය විසින් ඉතිරි වූ ආහාර සහ අඩක් ආහාරයට ගත් පැණි කොමඩු කොටස රස පරීක්ෂක වාර්තා සඳහා රසායනාගාර වෙත යවා ඇත. පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ නොහැකි බව පොලිසිය පවසයි.
මෙම පවුලේ පිරිසගේ අවසන් කටයුතු අප්‍රේල් 27 වන දා සිදු කරන ලදී.














