ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ශ්‍රී පාදස්ථානයට අමතරව කිකිළියාමාන සහ ඇල්ල වැනි ස්ථාන ද කේබල් කාර් ව්‍යාපෘති සඳහා සුදුසු ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති අතර, මේවායේ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කර අවශ්‍ය මූලික අවසරයන් ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.
මෙම රැස්වීමේදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා තවත් වැදගත් තීන්දු තීරණ කිහිපයකට එළැඹිණි:
මැයි මස 25 වන දා සිට රටවල් 40ක් සඳහා නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. යාල ඇතුළු වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සොයා බැලූ අතර, එම ස්ථානවල නඩත්තු කටයුතු පෞද්ගලික අංශය වෙත පවරා ඇති බව ද සඳහන් විය. මීට අමතරව, කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව නව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමු වූ අතර, එමගින් දිනකට සංචාරකයින් 2,000ත් 3,000ත් අතර පිරිසක් ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වේ. මෙම අවස්ථාවට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, වනජීවී දෙපාර්තමේන්තුවේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














