සරම්ප රෝගය යැයි සැක කළ හැකි ඕනෑම රෝගියෙකු පිළිබඳව ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා වහාම වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍ය වෘත්තිකයන් වෙත උපදෙස් දී තිබේ. උණ සමඟ සමේ පලු දැමීම හෝ රතු පැහැති ලප මතු වන රෝගීන් පිළිබඳව පසු විපරම් කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීම අනිවාර්ය කර ඇති අතර, පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන එවැනි රෝගීන් වැඩිදුර අධීක්ෂණය සඳහා රජයේ රෝහල් වෙත යොමු කරන ලෙස ද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා දන්වා සිටියි.
සරම්ප පැතිරීම වැළැක්වීම සඳහා එන්නත්කරණය අතිශය වැදගත් වන අතර, මාස 9 සිට අවුරුදු 3 දක්වා දරුවන් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ අවුරුදු 3 සිට 15 දක්වා දරුවන් මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබිය යුතුය. පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු මෙරටින් සරම්ප රෝගීන් වාර්තා නොවූවද, පසුගිය මාසයේදී විදේශගතව සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රෝගීන් ලෙස හඳුනා ගැනීම මෙම විශේෂ අවධානයට හේතු වී තිබේ. එබැවින් උණ සමඟ සමේ පලු දැමීම වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














