දකුණු ලෙබනනයේ ස්ථාපිත කර ඇති සූර්ය පැනල පද්ධති ඊශ්‍රායල හමුදාව විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) දැඩි චෝදනාවක් එල්ල කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් සූර්ය පැනල විනාශ කරන ආකාරය සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද එම ආයතනය විසින් ප්‍රසිද්ධ කර ඇත. දකුණු ලෙබනනයේ සිවිල් දේපළවලට මෙලෙස නීති විරෝධී ලෙස හානි කිරීම ඊශ්‍රායලය වහාම නැවැත්විය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අවධාරණය කරයි.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය X පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සිවිල් දේපළ ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම ක්‍රියාකලාපය යුද අපරාධ ගණයට අයත් විය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව විමර්ශන පැවැත්විය හැකි බවයි. යුදමය වාතාවරණයක් පවතින අවස්ථාවක පවා සිවිල් වැසියන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වැදගත් වන මෙවැනි යටිතල පහසුකම් විනාශ කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස එම සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙයි.













