ඇමරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය (ASPAS), ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) එක්ව සංවිධානය කළ “The Beauty of Sri Lanka” සුවිශේෂී ඡායාරූප සහ කලා ප්‍රදර්ශනය පසුගියදා (25) අතිසාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය, කලාත්මක සම්ප්‍රදායන් සහ ස්වභාවික සෞන්දර්යය විදහා පෑමේ අරමුණින් පැවැත්වූ මෙම උත්සවය සඳහා විදේශීය තානාපතිවරුන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අචිනි පෙරේරා මහත්මිය සහ ගෞරවනීය ආරාධිතයා මෙන්ම ප්‍රධාන දේශකයා ලෙස නාසා (NASA) ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ කොන්සල් ජනරාල්වරිය සඳහන් කළේ, 2025 වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය 8 වන ස්ථානයට පත්ව ඇති බවයි. මෙවැනි ප්‍රදර්ශන හරහා ඇමරිකානු සංචාරකයින් අතර ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මගින් සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.
ආචාර්ය සරත් ගුණපාල මහතා “ඉන්ෆ්‍රාරෙඩ් ඡායාරූපකරණයේ ගමන” (Journey of Infrared Photography) යන මැයෙන් සිය දේශනය පවත්වමින් ඡායාරූපකරණයේ විද්‍යාත්මක හා කලාත්මක අගය පැහැදිලි කළ අතර, ASPAS සභාපති සූරිය පෙරේරා මහතා සංස්කෘතික සබඳතා ගොඩනැගීමේදී කලාව සතු බලය ගැන අදහස් දැක්වීය. ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තනයන්ගෙන් වර්ණවත් වූ මෙම ප්‍රදර්ශන මාලාව ටොරොන්ටෝ සහ නිව්යෝර්ක් නුවරදී ද පැවැත්වෙන අතර, මැයි 2 වනදා වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.














