ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමත් සමඟ එහි දෛනික රාජකාරි කටයුතු තාවකාලිකව නුවරඑළිය ළමා පුස්තකාලය වෙත මාරු කිරීමට ගත් තීරණයට ප්‍රදේශවාසීන් සහ පුස්තකාල පාඨක සමාජය සිය දැඩි විරෝධය පළ කර තිබේ. වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතියකට අනුව මෙම අලුත්වැඩියාවන් සිදු කෙරෙන අතර, ඒ සඳහා පුස්තකාල ගොඩනැඟිල්ල තෝරා ගැනීම “අඥාන තීරණයක්” බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති.
මධ්‍යම පළාතේ හොඳම ළමා පුස්තකාලය ලෙස තේරී ඇති සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ඇති ස්ථානයක් මෙලෙස තැපැල් කාර්යාලයක් සඳහා යොදා ගැනීම දරුවන්ගේ අධ්‍යාපනයට කරන බාධාවක් බව විරෝධතාකරුවෝ පවසති. නුවරඑළිය නගරයේ පරණ මහ නගර සභා ගොඩනැඟිල්ල වැනි භාවිතයට නොගන්නා වෙනත් ගොඩනැඟිලි පවතිද්දී මෙම තීරණය ගැනීම පිළිබඳව ඔවුන් බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති.
තවද, මෙම ගොඩනැඟිල්ල ලබා දීම වෙනුවෙන් නුවරඑළිය මහ නගර සභාව රුපියල් 20,000ක මුදලක් අය කිරීමට තීරණය කර තිබීම ද විවේචනයට ලක්ව ඇත. අධ්‍යාපනයට සම්බන්ධ බලධාරීන් සහ දේශපාලනඥයන් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ නොසලකා මෙවන් තීන්දු ගැනීම කනගාටුදායක බව නුවරඑළිය පුස්තකාල පාඨක සමාජයේ ප්‍රධාන ලේකම් පී.එස්.කේ. රත්නායක ඇතුළු පිරිස ඊයේ (29) පැවති විරෝධතාවයේදී අවධාරණය කළහ.














