ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ව්‍යවස්ථාවේ සිට බිම් මට්ටම දක්වාම පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අද (30) සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
කමිටුව නම් කර ඇති පරිදිම ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම මට්ටමකම සැබෑ වෙනසක් සිදු කිරීම සිය අපේක්ෂාව බවත් එම වෙනස ව්‍යවස්ථාවේ සිට ආරම්භ විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කමිටුව මුලින්ම විවිධ පාර්ශ්වයන්ට ඇහුම්කන් දීමට සූදානම් බවයි. කමිටුව විසින් කලින් සකස් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොකරන බවත් දැනට සිදුවී ඇති දේවල් අධ්‍යයනය කර කළමනාකාරීත්වය සහ බාහිර පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව හොඳම දීර්ඝ කාලීන සැලැස්ම සකස් කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














