2010 වර්ෂයෙන් පසු උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීමේ අරමුණින් සකස් කළ යෝජනාවලිය සහ සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දී තිබේ. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් මෙම වැඩපිළිවෙළ සකස් කර ඇත.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ පවතින රෙගුලාසි වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සහ “දුම්කොළ රහිත අනාගත පරපුරක්” යන සංකල්පය යටතේ එක්තරා වයස් සීමාවකින් පසු උපත ලබන සියලුම පුද්ගලයින්ට දුම්කොළ නිෂ්පාදන සඳහා පවතින ප්‍රවේශය අහිමි කිරීම සහ තහනම් කිරීම මෙහි මූලික පියවර වේ.
මෙරට සිදුවන මරණවලින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් බෝනොවන රෝග නිසා සිදුවන අතර එයට ප්‍රධාන හේතුව දුම්කොළ සහ මධ්‍යසාර නිෂ්පාදනයි. ශ්‍රී ලංකාවේ මේ හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 කට ආසන්න වේ. ලෝකයේ වසරකට මිලියන 80 කට ආසන්න ප්‍රමාණයක් දුම්කොළ භාවිතය නිසා මිය යන අතර ඉන් සියයට 10 ක් මිය යන්නේ අක්‍රීය දුම්පානය හේතුවෙනි. එමෙන්ම පාසල් පද්ධතිය තුළ තරුණ දරුවන් අතර දුම්වැටි භාවිතය යම් ප්‍රමාණයකින් ඉහළ යමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ දුම්කොළ සහ මධ්‍යසාර දූ දරුවන්ට සෞඛ්‍ය සම්පන්න අනාගතයකට පියනැගීමට ඇති ප්‍රධාන බාධාවක් බවයි. මෙම වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විද්වත් වෘත්තීය සංවිධාන රැසක සහයෝගය ලැබී ඇත.














