2019 වසරේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට වෙඩි තබා පුද්ගලයන් 51 දෙනෙකු ඝාතනය කළ බ්‍රෙන්ටන් ටැරන්ට් ඉදිරිපත් කළ අභියාචනය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
බන්ධනාගාරය තුළ පැවති අමානුෂික තත්ත්වයන් හේතුවෙන් වරද පිළිගන්නා අවස්ථාවේදී තමා නිසි මානසිකත්වයකින් පසු නොවූ බව පවසමින් ඔහු මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල එම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කළ අතර ඔහු ස්වකැමැත්තෙන්ම වරද පිළිගෙන ඇති බවත් ඒ සඳහා කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් තීන්දු කළේය.
2019 මාර්තු 15 වන දින අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි යොදාගනිමින් මොහු එල්ල කළ ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඔහු සිය ඝාතන වැල මිනිත්තු 17ක කාලයක් පුරා සජීවීව විකාශය කිරීමට ද පියවර ගෙන තිබුණි. 2020 අගෝස්තු මාසයේදී ඔහුට කිසිදු සමාවක් හිමි නොවන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර එය නවසීලන්ත ඉතිහාසයේ ලබාදුන් දැඩිම දඬුවමයි.
අභියාචනය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් වින්දිත පවුල්වල නීතිඥවරුන් ප්‍රකාශ කළේ මෙය විශාල අස්වැසිල්ලක් බවයි. මේ හරහා නැවත නඩු විභාගයකට මුහුණ දෙමින් එදින සිදු වූ කම්පන සහගත අත්දැකීම් යළි ස්මරණය කිරීමට ඔවුන්ට සිදු නොවන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.














