මෙවර මැයි දින සැමරුම වෙසක් පුන් පොහෝ දිනයට යෙදීම හේතුවෙන් දේශපාලන ක්‍රියාකාරකම්වලින් බැහැරව ආගමික වතාවත්වලට මුල්තැන ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව සඳහන් කරන අතර, එහිදී සමගි ජන බලවේගයේ මැයි රැලිය සාර්ථක කර ගැනීමට සිය සුබපැතුම් ද එක් කර තිබේ.
ථෙරවාදී බෞද්ධ රටවල් සමඟ එක්ව ශ්‍රී ලංකාව ද අප්‍රේල් 30 වැනිදා සිට වෙසක් ආගමික වතාවත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස මෙවර දේශපාලන රැලියක් නොපැවැත්වීමට තීරණය කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කරයි. 2018 වසරේදී ද ජාතික වෙසක් සැමරුම හේතුවෙන් මැයි දින සැමරුම් කල් දැමූ ආකාරය පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට සමගි ජන බලවේගයේ නියෝජිතයන් සහභාගී වීම අගය කරමින් එම විශ්වාසය මත පදනම්ව මෙම සුබපැතුම් පණිවිඩය යොමු කරන බව සඳහන් කරයි.














