පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා රුපියල් බිලියන 13ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව 2024 වසරේ සිට මේ දක්වා එම බැංකුවේ සිදු කර ඇති සියලුම අභ්‍යන්තර විගණන වාර්තා විමර්ශනය කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් අතර, ඒ අනුව එම විගණන වාර්තා පරීක්ෂා කර, මෙම වංචාව පිළිබඳව බැංකුවේ ඉහළ නිලධාරීන් දැනුවත්ව සිටියේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද දන්වා ඇත. එමෙන්ම, වංචාව සිදුවන අවදියේ බැංකුවේ පරිගණක පද්ධතියේ සුපරීක්ෂකවරුන් මේ පිළිබඳව දැනුවත්ව සිටියේද යන්න පරීක්ෂා කර, සාපරාධී වරදක් සිදුව ඇත්නම් අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම වංචාවට අදාළව බැංකුවේ නිලධාරීන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙසටද තවත් නියෝගයක් නිකුත් කර තිබේ. සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වනු ලැබීය.














