ඉන්දියාවේ නිල සංචාරයක නිරත ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගයිඩෝ ක්‍රොසෙටෝ මහතා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සාකච්ඡා වටයක් පැවැත්විණි. මෙම හමුවේදී ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, ඉන්දියාව විසින් ලබාගන්නා සංවේදී ආරක්ෂක තාක්ෂණයන් පාකිස්ථානය වැනි වෙනත් රටවල් සමඟ බෙදා නොගන්නා ලෙස ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉතාලියෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉතාලි පාර්ශ්වය සහතික වූයේ, ඉන්දියාවට සපයනු ලබන සුවිශේෂී ආරක්ෂක තාක්ෂණයන් කිසිදු තෙවන පාර්ශ්වයක් සමඟ බෙදා නොගන්නා බවයි. මෙම සංචාරයේදී දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය යළි තහවුරු කෙරුණු අතර, 2026-2027 වසර සඳහා වන ද්විපාර්ශ්වික මිලිටරි සහයෝගීතා සැලැස්මක් ද හුවමාරු කර ගන්නා ලදී.
ඉන්දියාවේ ‘ආත්මනිර්භර් භාරත්’ වැඩසටහන යටතේ ආරක්ෂක නිෂ්පාදන දේශීයකරණය කිරීම සහ ඉතාලි තාක්ෂණය සමඟ ඒකාබද්ධව ආරක්ෂක උපාංග සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය. විශේෂයෙන්ම කෘතිම බුද්ධියෙන් ක්‍රියා කරන තීරණ ගැනීමේ පද්ධති, ඩ්‍රෝන විරෝධී ආරක්ෂක තාක්ෂණයන් සහ පරිසර හිතකාමී ප්‍රචාලන පද්ධති දේශීයව සංවර්ධනය කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේ අවධානය යොමු විය. කලාපීය සාමය සහ ගෝලීය ආරක්ෂක ගැටලු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත් අමාත්‍යවරුන්, ඉන්දියානු සාගර කලාපීය තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා සමුද්‍රීය තොරතුරු හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟත්වය පළ කළේය.














