මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග නිශාන්ත මහතා සිය නිවසේදී මියගොස් සිටියදී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මෙම සිද්ධියේ සත්‍යතාව හෙළි කර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
මෙම නිලධාරියා ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සිටි අයෙකු වන අතර, ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සිද්ධිය වූ ස්ථානයේ තිබී කැපුම් තුවාල සහිතව සිරුර හමුවීම සහ මුලින් මෙය සියදිවි නසාගැනීමක් ලෙස සැක කිරීම නිසා, විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා මෙම මරණය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳව විද්‍යාත්මක සහ අපරාධ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කෙරේ.














