පවතින එක්සත් ජනපද-ඉරාන යුද ගැටුම හේතුවෙන් පාකිස්ථානයේ ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසයි. පසුගිය දිනක පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී අගමැතිවරයා අවධාරණය කළේ, යුද්ධයට පෙර සතියකට ඩොලර් මිලියන 300ක්ව පැවති එරට තෙල් ආනයන බිල, මේ වන විට ඩොලර් මිලියන 800 දක්වා 167%ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
පසුගිය වසර දෙකක කාලය තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් කරා ළඟා වීමට දැරූ උත්සාහයන් මෙම හදිසි යුද තත්ත්වය හේතුවෙන් පසුබෑමකට ලක්ව ඇති බවත්, මෙය රටේ ආර්ථික සංවර්ධනයට බරපතළ පහරක් බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කර ගැනීමට පියවර ගෙන ඇති බවත්, ජාත්‍යන්තර මට්ටමින් පවතින මෙම අර්බුදය සමනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමට පාකිස්ථානය අඛණ්ඩව කැපවී සිටින බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.














