2025 වසරේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 36.4ක ලාභයක් පෙන්වා ඇත්තේ බෙදුම්කරුවන්ට හිමි විය යුතු වට්ටම් මුදල් අනීතික ලෙස කපා ගැනීමෙන් බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 2025 මාර්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංස්ථාව සිය අලෙවි නියෝජිතයන්ට හිමි ලාභාංශ ප්‍රතිශතයෙන් හරි අඩකටත් වඩා අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට ඔවුහු චෝදනා කරති.
විදේශීය තෙල් සමාගම් සඳහා හඳුන්වා දුන් නව මිල සූත්‍රය සහ 2023 අගෝස්තු මස ලබා දුන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අනුව බෙදුම්කරුවන්ට 3%ක මෙහෙයුම් ලාභාංශ ප්‍රතිශතයක් (V 2h) හිමි විය යුතුය. විදේශීය සමාගම් සිය නියෝජිතයන්ට එම 3%ක ලාභය ගෙවන පසුබිමක, තෙල් සංස්ථාව පමණක් එය ඒකපාර්ශ්විකව 1.5% දක්වා අඩු කර ඇති බව සංගමය පෙන්වා දෙයි. මෙම කප්පාදුව හරහා ඉතිරි කරගත් බිලියන ගණනක මුදල සංස්ථාවේ ලාභයට එකතු කර පෙන්වීම සාධාරණ නොවන බව ඔවුන්ගේ මතයයි.
මෙම තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පිරවුම්හල් සහ සමුපාකාර පිරවුම්හල් 200කට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව බෙදුම්කරුවන් පවසයි. 2024 වසරේ සංස්ථාව ලැබූ බිලියන 34.2ක ලාභය හා සැසඳීමේදී, බෙදුම්කරුවන්ගේ ලාභය කපාගෙන පෙන්වන 2025 වසරේ බිලියන 36.4ක ලාභය ජයග්‍රහණයක් ලෙස සැළකිය නොහැකි බව පවසමින් සංගමය ජනාධිපතිවරයාගේ අවධානය මේ වෙත යොමු කර තිබේ.














