පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වල 2026 මැයි 01 වන දිනට අදාළ සංඛ්‍යාත්මක වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර තිබේ.
පොලිස් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන මෙම මෙහෙයුම්වලදී, පරීක්ෂාවට ලක් කළ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 25,290කි. එම මෙහෙයුම් අතරතුර සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 479ක් ලෙස වාර්තා වන අතර, ඉන් පුද්ගලයින් 21 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් සැකකරුවන් වේ.
මීට අමතරව, විවිධ අධිකරණ වරෙන්තු මත අත්අඩංගුවට ගැනීම් ද සිදු කර ඇති අතර, ඒ අනුව දින වරෙන්තුකරුවන් 165 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 107 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, බීමත් රියදුරන් 74 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ රියදුරන් 62 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත. එදින දිවයින පුරා රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 3,132ක් පවරා තිබේ.














