මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධියකට සම්බන්ධව වැඩ තහනමකට ලක්ව සිටියදී මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදුකරන ලෙස ‘දිනන දකුණ’ සංවිධානයේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් මෙය සියදිවි නසාගැනීමක් ලෙස තහවුරු කර තිබුණද, ලංකාවේ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පවතින අතීත අත්දැකීම් හේතුවෙන් එම වාර්තාවන් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය නොහැකි බව නීතිඥවරයා පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ මුදල් වංචාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මාස හතරක් පුරා වසන් කිරීම බරපතළ සැකයක් මතු කරන බවයි.
මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් යනු පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමට හේතු වූ කරුණු, ඒ වන විට ඔහුගේ මනෝභාවය සහ මරණයට ආසන්නතම කාලසීමාවේ සිදුවූ සිදුවීම් පිළිබඳව විද්‍යාත්මකව විමර්ශනය කරන ක්‍රමවේදයකි. මියගිය නිලධාරියාගේ ක්‍රියාකාරීත්වයෙන් ඔබ්බට ගිය බලපෑමක් මෙම මරණය පිටුපස තිබිය හැකිද යන්න පිළිබඳව සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ බව නීතිඥවරයා අවධාරණය කළේය.
රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (මැයි 02) පස්වරුවේ කුලියාපිටිය පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් සිව්දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබුණි.














