කළුතර දකුණ කැලිඩෝ මුහුදු වෙරළේ තිබී හමුවූ කාන්තා මළ සිරුර බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ගුරුවරියකගේ බවට ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. මියගොස් ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක් වන නදීෂානි තරංගිකා අමරනායක නැමැති තැනැත්තියකි.
පසුගිය 03 වනදා කළුතර නාගොඩ රෝහලට පැමිණි මියගිය කාන්තාවගේ සැමියා සහ මව විසින් සිරුර හඳුනාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. පසුගිය මැයි 01 වනදා වෙරළ තීරයේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර, පවුල් ආරවුලක් හේතුවෙන් ඇය අප්‍රේල් 30 වනදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කළුතර හදිසි මරණ පරීක්ෂකවරියගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය නාගොඩ රෝහලේදී පවත්වා ඇති අතර, මරණයට හේතුව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා රුධිර සාම්පල් වැඩිදුර විමර්ශන සඳහා යොමු කර තිබේ. කළුතර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














