ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන සහ අවසන් රග්බි තරගය ලකුණු 25-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ (U85kg) කණ්ඩායම අද (03) පස්වරුවේ සමත් විය. මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය පුරාම සිය ආධිපත්‍යය පැතිරවීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-07ක් ලෙස නවසීලන්තය පෙරමුණේ පසුවූ අතර, දෙවන අර්ධයේදී ද සිය ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි විය. දෙරට අතර පැවැති පළමු තරගය ද නවසීලන්තය ජයගෙන තිබූ අතර, ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන ‘ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි’ (Sir Graham Henry) කුසලානය තවදුරටත් සිය සන්තකයේම රඳවා ගැනීමට ඔවුන් සමත් වී තිබේ.
මෙම ජයග්‍රහණයත් සමඟ සංචාරක නවසීලන්ත කණ්ඩායම තරගාවලිය 2-0ක් ලෙස සාර්ථකව නිම කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් තරග වටයකින් පසු අනුශූරතාව හිමි විය.














