රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 400 දෙනෙකුගෙන් සමන්විත ‘Public-Impact Champions Network’ (PIC-Net) නමින් විශේෂ බලකායක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍යාංශ, රාජ්‍ය ව්‍යවසාය සහ පළාත් සභා ඇතුළු රජයේ ආයතන 95ක් ආවරණය වන පරිදි මෙම ‘ඩිජිටල් පරිවර්තන ශූරයන්’ බඳවා ගැනීමට නියමිතය.
ජනාධිපති ලේකම් එන්.එස්. කුමනායක මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන, අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ‘ඩිජිටල් ආර්ථික මිනුම්දණ්ඩ’ (Digital Economy Blueprint) යටතේ ක්‍රියාවට නැංවේ. ජනාධිපති ලේකම් කාර්යාලය, GovTech Sri Lanka සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කරනු ලබයි.
මෙහි විශේෂත්වය වන්නේ සෑම රාජ්‍ය ආයතනයකින්ම ‘ඩිජිටල්’, ‘අත්දැකීම්’, ‘ක්‍රියාවලි’ සහ ‘පරිවර්තන’ යන ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා ගැනීමයි. තෝරාගනු ලබන මෙම නිලධාරීන් සඳහා ඩිජිටල් පරිවර්තනය සහ වෙනස්කම් කළමනාකරණය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ විශේෂඥ මගපෙන්වීම් ලබා දීමට ද කටයුතු සූදානම් කර ඇත. තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.














