දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක වසර විසිපහක කාලයක් තිස්සේ බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිශ්චල සහ චංචල දේපළ සියල්ල නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා දී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ගත් තීන්දුවකට අනුව මෙම පියවර ගෙන ඇත.
අදාළ ඉඩම සහ ගොඩනැඟිල්ල මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඔහුගේ දේශපාලන සහ පොදු කටයුතු සඳහා භාවිත කර ඇති අතර, ඒ හරහා බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දේපළ නැවත භාර දෙන ලෙසට පදනමේ ලේකම්වරයාට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
බදු ගිවිසුම 2028 වසර දක්වා වලංගුව තිබුණද, දුම්රිය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී දුන් උපදෙස් මත පදනම විසින් අදාළ දේපළ සාමාන්‍යාධිකාරිවරයා වෙත භාර දී ඇත. අදාළ භූමිය සහ ගොඩනැඟිලි මුද්‍රා තබා ආරක්ෂාව යොදා ඇති අතර, එය ඉදිරියේදී රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා යෙදවීමට නියමිතය.














