ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද රජය පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ඉන්ධන සහන මිලකට ලබා දෙන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. ලෝක වෙළඳපොළේ පිරිවැය අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවිය යුතු වුවද රජය එය රුපියල් 392 වැනි අඩු මට්ටමක පවත්වාගෙන යන අතර එහිදී සිදුවන පිරිවැය පරතරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරා ගනු ලබයි. ඇතැම් මාසවල ලබන ලාභය පිරිවැය අධික කාලවලදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා යොදා ගැනීම රජයේ ප්‍රතිපත්තිය බවත් වසරක සමස්ත ක්‍රියාකාරිත්වය දෙස බලා තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජයන් දෙක අතර පවතින එකඟතාවක් මත චීනයෙන් ඉන්ධන මිලදී ගැනීමට සාකච්ඡා පවත්වන බවත් රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වන තාක්ෂණික සහ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ඔහු අනාවරණය කළේය.














