වසරේ දැකගත හැකි ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අලුයම කාලයේදී ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව වසර 76කට වරක් පෘථිවිය අසලින් ගමන් කරන ප්‍රසිද්ධ හැලේ වල්ගා තරුව විසින් අභ්‍යවකාශයේ ඉතිරි කර ඇති දූවිලි හා සුන්බුන් කලාපයක් හරහා පෘථිවිය ගමන් කිරීමේදී නිර්මාණය වෙනවා. අලුයම 2.00ත් 5.00ත් අතර කාලයේදී මෙය වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි සඳහන් වන්නේ.
නගරයේ ඇති විදුලි ආලෝකයෙන් සහ ගොඩනැගිලිවලින් අවම බාධාවක් පවතින අහස හොඳින් දිස්වන අඳුරු ස්ථානයක් තෝරා ගැනීම නිරීක්ෂණය සඳහා වඩාත් වැදගත් වෙනවා. මෙයට විශේෂ දුරේක්ෂ හෝ දූරදර්ශක අවශ්‍ය නොවන අතර පියවි ඇසින් අහසේ නැගෙනහිර දෙස බැලීමෙන් ඔබට මෙම දර්ශනය අත්විඳිය හැකියි. වර්තමානයේ පවතින සඳ එළිය නිසා අහස තරමක් දීප්තිමත් විය හැකි බැවින්, සඳ එළිය සෘජුවම ඇසට නොපෙනෙන පරිදි ගොඩනැගිල්ලක් හෝ කන්දක් ආශ්‍රිතව ස්ථානගත වී නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුයි.














