චීනයේ හුනාන් ප්‍රාන්තයේ, ලියුයැන්ග් (Liuyang) නගරයේ පිහිටි ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇත.
ඊයේ (04) සවස 4.00ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර, සහන සේවකයින් 500ක් පමණ යොදවා මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් සෙවීම සඳහා මේ වන විට රොබෝ යන්ත්‍ර ද භාවිතා කරමින් පවතී.
තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානම හේතුවෙන් කර්මාන්තශාලාව අවට කිලෝමීටර් 3ක ප්‍රදේශයක වෙසෙන ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















