මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීන රුසියානු තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණින්, රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (04) කොළඹ ජාතික රෝහලේ සහ වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු නියෝජිත පිරිස, මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නිලධාරීන් හමුවීමෙන් අනතුරුව මෙම සංචාරයට එක්ව තිබේ.
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය උපකරණ හා රෝගී සත්කාරක සේවාවන් සමීපව නිරීක්ෂණය කළ රුසියානු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව අතිශය විශිෂ්ට මෙන්ම කාර්යක්ෂම සේවාවක් බව පවසමින් සිය ප්‍රසාදය පළ කළේය. දෙරට අතර දැනුම හුවමාරු කර ගැනීමටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත් මෙම සංචාරය වැදගත් පියවරක් වනු ඇත. මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














