ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය උදෙසා සකස් කරන ලද ‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම – 2026-2030’ උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2025 අයවැය යෝජනාවකට අනුව, අපනයන තරගකාරිත්වය සහ තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ අරමුණින් මෙම සැලැස්ම සකස් කර ඇත්තේ අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ද ඇතිවයි.
මෙම සැලැස්මේ ප්‍රධානතම ඉලක්කය වන්නේ 2030 වර්ෂය වන විට වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය තුළින් අමෙරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමයි. ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම සඳහා පුළුල් උපායමාර්ගික රාමුවක් මෙම සැලැස්ම හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.














