තමන්ට එරෙහිව පවතින දූෂණ නඩුවකට අදාළව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන 12 වැනිදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද (05) නියෝග කළේය.
මෙම මෝසම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායකයාට චීනයේ සංචාරයක නිරත වීමට අවශ්‍යව ඇති බැවින් එම ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසමේ ස්ථාවරය විමසමින් නඩුව යළි මැයි 12 වැනිදා කැඳවීමට නියෝග කළේය.














