වත්මන් රජය රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති සැබෑ වටිනාකම සහ ගෞරවය පිළිබඳව ඕනෑම රාජ්‍ය සේවකයකුගෙන් විමසා දැනගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු අවධාරණය කළේ අතීතයේදී පාලකයන්ගේ අත්තනෝමතික නියෝග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන්ට අද වන විට බන්ධනාගාරගත වීමට පවා සිදුව ඇති බවයි. පැවති දේශපාලන සංස්කෘතිය තුළ නිලධාරීන් පාලකයන්ගේ පදයට නැටවූ කාලය දැන් අවසන් වී ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් සතු වෘත්තීය දැනුම සහ අත්දැකීම් නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ස්වාධීනව තීරණ ගැනීමට නිලධාරීන්ට අවස්ථාව ලබා දීම හරහා රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍යයට අවංකව සේවය කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය සැමවිටම බැඳී සිටින බව ද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් දූෂිත ක්‍රියාවල නිරත වන හෝ මහජන මුදල් අවභාවිත කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය කිසිසේත්ම සූදානම් නොමැති බව චතුරංග අබේසිංහ මහතා මෙහිදී තහවුරු කළේය. පිරිසිදු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ වන අතර ඒ සඳහා කැපවන සියලුම නිලධාරීන්ට රජයේ උපරිම සහයෝගය හිමිවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














