හමාස් සහ හෙස්බුල්ලා සංවිධාන සමඟ ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් පසුව පළමු වතාවට ඉශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. බීරූට් නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි හෙස්බුල්ලා බලකොටුවක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර සිටියේ හෙස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ රෙඩ්වාන් බලකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කිරීමට තමන් පෞද්ගලිකවම අනුමැතිය ලබා දුන් බවයි. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණද දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරමින් ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් පවතින සාමය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය සතිය තුළ පමණක් ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 120කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර හෙස්බුල්ලා සංවිධානය ද ඉශ්‍රායලයේ උතුරු ප්‍රදේශවලට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කරමින් සිටින අතර පවතින උණුසුම් තත්ත්වය හමුවේ දහස් සංඛ්‍යාත ජනතාවක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටිති.














