ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය මත දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. කාලගුණික වෙනස්වීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආපදා තත්ත්වයන් මඟහරවා ගැනීමට කටයුතු කරන ලෙසත් බලධාරීන් දැනුම් දෙයි.














