රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා බදු ගෙවන්නන්ගේ රුපියල් බිලියන 7ක මුදලක් වැය කිරීමට සූදානම් වීම බරපතළ නාස්තියක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් වෙනත් නාමයකින් පැරණි ක්‍රමවේදයක්ම නැවත හඳුන්වා දීමට උත්සාහ කරන බව පෙන්වා දෙන සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, මෙම පියවර රටේ මගී ප්‍රවාහන පද්ධතිය තවදුරටත් දුර්වල කිරීමට හේතු වන බව අවධාරණය කළේය.
මහජන මුදල් මෙලෙස අනවශ්‍ය ලෙස වැය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට රතු එළියක් නිකුත් කරන බවත්, මෙවැනි ව්‍යාපෘති මගින් ප්‍රවාහන අර්බුදයට නිසි විසඳුම් නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පවතින ප්‍රවාහන සේවය විධිමත් කිරීම වෙනුවට මෙවැනි අධික පිරිවැයක් සහිත ව්‍යාපෘති දියත් කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන් සිය දැඩි විරෝධය පළ කර සිටියි.














