උණවටුන, දැලවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සිදුකළ විශේෂ වැටලීමකදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සහ විදෙස් මුදල් සන්තකයේ තබාගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් 73 හැවිරිදි වියේ පසුවන මෙම විදේශිකයා වීසා බලපත්‍රයක් ද නොමැතිව මෙරට රැඳී සිට ඇති බවයි.
සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280යි මිලිග්‍රෑම් 150ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ තවමත් හඳුනා නොගත් වෙනත් මත්ද්‍රව්‍ය වර්ගයකින් ග්‍රෑම් 40ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව ඔහු සතුව තිබූ විවිධ වර්ගයේ විදේශීය මුදල් නෝට්ටු රැසක් ද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර විදේශිකයා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකය.














