තඹුත්තේගම ජාතික පාසල සියලු යටිතල පහසුකම්වලින් සමන්විත පූර්ණ සංවර්ධිත පාසලක් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. මෙම විද්‍යාලය 2022 වසරේදී ජාතික පාසලක් ලෙස නිල වශයෙන් නම් කළ ද, ගතවූ සිව් වසරක කාලය තුළ පාසලට අත්‍යවශ්‍ය වන ගුරු හා පරිපාලන කාර්ය මණ්ඩලය මෙන්ම යටිතල පහසුකම් මෙතෙක් හිමිවී නොමැති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. විශේෂයෙන්ම නව පන්තිකාමර, ක්‍රීඩාපිටිය සහ සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව හඳුනාගෙන තිබේ.
මෙම සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වා ඇති අතර, එහි මූලික පියවරක් ලෙස අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් පසුගියදා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු හා කාර්ය මණ්ඩල අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය මෙම සැලසුම් සහගත වැඩපිළිවෙල යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.














