කොකේන්, හෑෂ් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙරට රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍රයක් නොමැති එංගලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත්ව තිබේ. විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (06) මෙම වැටලීම සිදුකර ඇත.
හබරාදුව පොලිස් වසමේ උණවටුන, දැලවැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විලාවකදී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280 මිලි ග්‍රෑම් 150 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් සොයාගෙන තිබේ. මීට අමතරව විවිධ විදේශීය මුදල් වර්ග ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 73 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු වන අතර ඔහු සතුව වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍රයක් නොතිබූ බව වාර්තා වේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.














