දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් සහ විධිමත් පියවර පිළිබඳව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය සිය ප්‍රශංසාව පළ කර තිබේ. ඊයේ (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය. මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.
දෙරට අතර පවතින වසර 65කට අධික දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙහිදී අගය කළ කථානායකවරයා, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර වේදිකාවලදී කියුබාව ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය. කියුබාවේ දියුණු වෛද්‍ය ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතුවලදී ලබාදෙන තාක්ෂණික සහය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකට කියුබාවේ සංචාරයක නිරත වන ලෙසට ආරාධනා කළ තානාපතිනිය, අධ්‍යාපන ශිෂ්‍යත්ව, ක්‍රීඩා සහ වැවිලි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළාය. අනතුරුව ඇය ශ්‍රී ලංකා – කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් ද හමු වී සුහද සාකච්ඡාවක නිරත විය.














