මහජන සෞඛ්‍යයට සහ පරිසරයට දැඩි බලපෑම් එල්ල කරමින් මාර්ගවල ධාවනය වන, විෂ දුම පිටකරන වාහන ‘අසාධු ලේඛනයට’ (Blacklist) ඇතුළත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ වාහන වායු විමෝචන භාරකාර අරමුදල ඒකාබද්ධව මැයි මාසයේ සිට ‘මාර්ගස්ථ දුම් පරීක්ෂාව’ (Roadside Emission Testing) යළිත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය කාලසීමාවේදී වාහන වායු විමෝචන භාරකාර අරමුදල, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතට පත්වීමේදී සිදු වූ පරිපාලනමය වෙනස්කම් හේතුවෙන් මෙම පරීක්ෂණ කටයුතු තරමක් අඩාල වී තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස කළු දුමාරය පිටකරන වාහන මාර්ගවල බහුල වූ අතර, එමගින් මහජනතාව දැඩි සෞඛ්‍ය අවදානමකට ලක් විය. කෙසේ වෙතත්, නව පරිපාලන ව්‍යුහය යටතේ මෙම මෙහෙයුම් කටයුතු දැන් වඩාත් විධිමත් කර ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම වැඩපිළිවෙළ යටතේ, මාර්ගයේදී පරීක්ෂාවට ලක් කෙරෙන වාහනයක් නියමිත වායු විමෝචන ප්‍රමිතීන්ට අනුකූල නොවන බව තහවුරු වුවහොත්, එම වාහන සඳහා නඩත්තු නියෝග නිකුත් කරනු ලැබේ. එම නියෝග නොතකා දිගින් දිගටම විෂ දුම පිටකරමින් ධාවනය වන වාහන අසාධු ලේඛනයට ඇතුළත් කර දැඩි දඬුවම් පමුණුවන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ඒ අනුව, තම වාහන නිසි ලෙස නඩත්තු කර දුම් සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රමිතියෙන් තබා ගන්නා ලෙස සියලුම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටියි.















