ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කලාපයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේ මෙම තත්ත්වය මැයි මස 13 වැනිදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
විශේෂයෙන්ම මැයි මස 10, 11, 12 සහ 13 යන දිනවලදී මෙම වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යාඥවරයා පෙන්වා දෙයි. මෙම වැසි තත්ත්වය වර්තමානයේ පවතින නිරිතදිග මෝසම් තත්ත්වය නිසා ඇති වන්නක් නොවන බවත්, එය වායුගෝලීය කැලඹිලි ස්වභාවය මත පදනම් වූවක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම වැසි තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට තද වැසි මෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී මෙම වැසි තත්ත්වය වැඩි වශයෙන් අපේක්ෂා කළ හැකිය.















