පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ නම් ඉවත් කර ගැනීමට විත්තිය තීරණය කර ඇත. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව ඊයේ (07) කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ පී.එන්.ටී. බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් අධිකරණයේ පෙනී නොසිටි අතර, ඒ වෙනුවට ඔවුන් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති ඒකාබද්ධ දිවුරුම් ප්‍රකාශය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට විත්තිය අවසර ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ අදාළ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණුවල සත්‍යතාව පිළිනොගන්නා නමුත් එවැනි දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති බව පිළිගන්නා බවයි. ඒ අනුව සාක්ෂිකරුවන් ලෙස රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් පෞද්ගලිකව කැඳවීමේ අවශ්‍යතාවක් නොවන බව තීරණය විය.
2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදුවන අවධියේ රවී සෙනෙවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, ශානි අබේසේකර මහතා එහි අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළහ. අදාළ දිවුරුම් ප්‍රකාශයේ සහතික කළ පිටපතක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරු මඬුල්ල, නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට පියවර ගත්තේය.














