රජයේ ආදායම් උත්පාදනය කරන ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහාය ලබා දීමට එකඟතාව පළ වී ඇත. ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියාන් (Gevorg Sargsyan) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ එම ආයතන නවීකරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳවයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය (Integrity) ආරක්ෂා කර ගැනීම සඳහා දැනටමත් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් තවදුරටත් ශක්තිමත් කිරීමට ලෝක බැංකුව තාක්ෂණික සහාය ලබා දීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රාජ්‍ය ආයතන තුළ ස්ථාපිත කර ඇති අභ්‍යන්තර විමර්ශන ඒකක සමඟ සම්බන්ධ වෙමින් මූල්‍ය විනය සහ විනිවිදභාවය තහවුරු කිරීමට ලෝක බැංකු නියෝජිතයන් සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් වන රිචඩ් වෝකර් (Richard Walker), ඇන්තනි ඔබේසේකර සහ පාලන විශේෂඥ ටිල් හාර්ට්මන් (Till Hartman) යන මහත්වරුන් ද සහභාගී වූහ. මෙම සහයෝගිතාව හරහා මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ඵලදායී සහ ආදායම් උත්පාදනය කළ හැකි මට්ටමකට ගෙන ඒම රජයේ මූලික අරමුණ වී තිබේ.















