විදේශගතව සිටින වෛද්‍යවරයෙකුට අයත් ගුරුදෙණිය මාලිගාතැන්න ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරාගෙන විකුණූ බව කියන එම නිවසේ මුරකරු තලාතුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෛද්‍යවරයා විසින් දැඩි ලෙස විශ්වාස කර පෞද්ගලික වියදමින් හදවත් සැත්කම් පවා කරවා දුන් මෙම 28 හැවිරිදි මුරකරු, වසරක පමණ කාලයක් තිස්සේ අවස්ථා කිහිපයකදී නිවසේ තිබූ ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ, ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ මෙලෙස සොරාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
මෙම සිද්ධිය වඩාත් කතාබහට ලක්ව ඇත්තේ වෛද්‍යවරයා මෙම මුරකරු සහ ඔහුගේ පවුලේ උන්නතිය වෙනුවෙන් සිදුකර ඇති සුවිශේෂී පරිත්‍යාගයන් හේතුවෙනි. සැකකරුගේ හදවත් සැත්කම සඳහා රුපියල් ලක්ෂ 46ක්, ඔහුගේ බිරිඳගේ නළ දරු උපතක් සඳහා රුපියල් ලක්ෂ 40ක් මෙන්ම බිරිඳට නිවසේ සිට මැහුම් කටයුතු කිරීමට ජුකී මැෂින් 6ක් පවා වෛද්‍යවරයා ලබා දී තිබුණි. මීට අමතරව ගෙවත්ත බලාගැනීම වෙනුවෙන් ලක්ෂයක මාසික වැටුපක් සහ ගමන් බිමන් සඳහා ත්‍රිරෝද රථයක් පවා වෛද්‍යවරයා විසින් ඔහුට මිලදී ගෙන දී තිබී ඇත.
සොරකම අනාවරණය වී ඇත්තේ නිවස පිළිබඳ සොයා බැලීමට වෛද්‍යවරයා විසින් පත් කර සිටි 66 හැවිරිදි කාන්තාවක නිවසට පැමිණි අවස්ථාවකදීය. මුලින් මුරකරු විසින්ම පොලීසියට පැමිණිල්ලක් කරමින් සොරකම වසන් කිරීමට උත්සාහ කළත්, පසුව සිදුකළ විද්‍යාත්මක විමර්ශන සහ සී.සී.ටී.වී (CCTV) පරීක්ෂාවන් මගින් ඔහු කොටු කර ගැනීමට පොලීසිය සමත් විය. සැකකරු විසින් මෙම භාණ්ඩ ඉදිකිරීම් ආයතනයකට විකුණා ඇති අතර ඉන් කොටසක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙම සොරකමට ප්‍රදේශයේ තවත් අයෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර තලාතුඔය පොලීසියේ ස්ථානාධිපති නීතිඥ හේමාල් ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති. අධික විශ්වාසය අවභාවිත කරමින් සිදු කළ මෙම මහා පරිමාණ සොරකම ප්‍රදේශවාසීන්ගේ පවා දැඩි පිළිකුලට ලක්ව තිබේ.














