ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට නව පණක් ලබා දෙමින් AHC සමූහ ව්‍යාපාරය සහ ආසියානු අප්‍රිකානු වාණිජ මණ්ඩලය (AACCI) අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. මීගමුවේදී පැවැති මෙම සුවිශේෂී උත්සවයේදී AHC සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නාලක සිල්වා මහතා සහ AACCI සභාපති ආචාර්ය ජී. ඩී. සින් මහතා මෙම ගිවිසුමට එළඹුණු අතර, ඒ හරහා මෙරටට විදේශ ආයෝජන රැසක් ආකර්ෂණය කර ගැනීමට මග පෑදී ඇත.
මෙම නව සහයෝගීතාවය තුළින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක දැවැන්ත පිම්මක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, සංචාරක ක්ෂේත්‍රය, දේපොළ වෙළෙඳාම් මෙන්ම පතල් කර්මාන්තය ආශ්‍රිතව නව රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය වනු ඇති බව ආචාර්ය නාලක සිල්වා මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන AHC සමාගම දැනටමත් සිය වර්මි කොම්පෝස්ට් කාබනික පොහොර ව්‍යාපෘතිය හරහා ගොවි ජනතාව අතර මහත් ප්‍රසාදයට පත්ව සිටී. මීට අමතරව තිස්සමහාරාමය සහ අම්පාර යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අක්කර 1000ක පමණ භූමි ප්‍රමාණයක ආරම්භ කර ඇති බිත්තර වී වගා කිරීමේ ව්‍යාපෘතිය මෙරට සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ගෙන ඇති සාර්ථක පියවරකි.
මෙම වැඩපිළිවෙළෙහි තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස ලබන අගෝස්තු මස කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වෙන අන්තර්ජාතික වෙළෙඳ හා ආර්ථික රාජතාන්ත්‍රික සමුළුව හැඳින්විය හැකිය. රටවල් 25ක නායකයන් සහ ව්‍යාපාරිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට විවර වන සුවිශේෂී දොරටුවක් වනු ඇත.














