මෙරට ඉන්ධන සැපයුම සඳහා දැනට අනුගමනය කරන ප්‍රසම්පාදන සහ මිලදී ගැනීම් ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතළ සැක සංකා මතු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ පිරිවැය සම්බන්ධයෙන් පවතින ගැටලු රාශියක් හේතුවෙන් රජය වහාම මේ පිළිබඳව කරුණු රටට හෙළි කළ යුතු බව ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම පසුගිය මාස 12 ක කාලය තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද හදිසි මිලදී ගැනීම් සහ දිගුකාලීන ගිවිසුම්වල විස්තර වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙහිදී භාවිත කරන තාක්ෂණික සහ වාණිජ ඇගයීම් නිර්ණායක අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්ධන සැපයුම්කරුවන් ලෙස අලුතින් ලියාපදිංචි වූ පිරිස් කවුරුන්ද යන්න සහ යම් සැපයුම්කරුවෙකු සිය බෙදාහැරීම් පැහැර හැර ඇත්නම් ඔවුන් පිළිබඳ තොරතුරු වසන් නොකර හෙළි කරන ලෙස ඔහු වැඩිදුරටත් කියා සිටියේය. රටේ ආර්ථිකයට සෘජුවම බලපාන මෙම සංවේදී ගනුදෙනු පිළිබඳව මහජනතාවට සත්‍යය දැනගැනීමේ අයිතිය ඇති බව ඔහු අවධාරණය කළේය.
















