ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ඊයේ (07) ආරම්භ විය. මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කිසිදු විමර්ශන කොමිසමකින් හෝ කමිටුවකින් සිය සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවයි. එමෙන්ම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සුරේෂ් සලේ මහතා ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවේ රැඳී සිටි බවත්, චැනල් ෆෝ නාලිකාවට අසාද් මවුලානා කළ ප්‍රකාශ පදනම් විරහිත බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම නඩු විභාගය අතරතුර සුරේෂ් සලේ මහතා රඳවා සිටින ස්ථානයේ පවතින පහසුකම් පිළිබඳව ද දැඩි කතාබහක් ඇති විය. ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ මිනිස් වාසයට නුසුදුසු ඉතා කුඩා කාමරයක රඳවා සිටින බවත්, එහි අවම පහසුකම් පවා නොමැති වීම නිසා ඔහු දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත්ය. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ CID ගොඩනැගිල්ල පැරණි එකක් බැවින් එහි නිලධාරීන් පවා සේවය කරන්නේ අවම පහසුකම් යටතේ බවයි. කෙසේ වෙතත්, ඕනෑම පුද්ගලයෙකුට ගෞරවාන්විතව සැලකීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා, මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන ලෙස වගඋත්තරකරුවන්ට දැනුම් දුන් අතර පෙත්සම ජුනි මස 04 වනදා නැවත සලකා බැලීමට නියමිතය.














