බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වටලා සංවිධානාත්මක ලෙස පරිගණක අපරාධවල නිරත වූ විදේශිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත් වී තිබේ. ලද තොරතුරක් මත ඊයේ (07) දහවල් සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 20ත් 54ත් අතර පසුවන චීන සහ වියට්නාම ජාතිකයින් සිටින බව පොලීසිය පවසයි. සැකකරුවන් අපරාධ සඳහා භාවිතා කළ පරිගණක 05ක්, ජංගම දුරකථන 26ක් සහ රවුටර් යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. මෙම පිරිස මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය වංචා හෝ වෙනත් සයිබර් අපරාධ සිදුකළේ ද යන්න පිළිබඳව බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














